Do you like to read weekly my Econocolama

Tuesday, August 17, 2010

2010.08.22- රාවය- රුකියාවක් වෙනුවෙන් කොරියානු බස ඉගැනීම ආසියාවේ ආශ්චර්යය නම් නොවේ.

මහින්ද චින්තනය ඉදිරි දැක්ම වැඩ පිලිවෙල ඉදිරිපත් වූයේ පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන්ය. එහි සදහන් වූ ඉතා වැදගත් උදාන පාඨයක් රජයේ ආයතන විසින් ඉතාමත් කෙටි කාලයක් තුළ සහමුලින්ම අමතක කර දමා තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘‘රට හැර යන්නන්ගේ දේශයක් නොව, රට හැර ගිය පිරිස් පවා ආපසු කැදවන රටක්’’ බිහි කරන බවය. එය මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ සටහනේ දැක්වෙයි. එපමණක් නොවේ, ජනාධිපතිවරයා සිය ජයග‍්‍රහණයෙන් අනතුරුව විවෘත ආරාධනයක් කරමින් රට ගොඩ නගන්නට ආපසු පැමිණ තමන් හා එකතුවන ලෙස සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.


පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි විදේශ රුකියා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අලූයම දෙකේ සිට පෝලිම් ගැසී සිටි තරුණ තරුණියන් ගේ අරමුණ වූයේ රුපියල් එක්දහස් පන්සියයක් ගෙවා අයදුම්පත‍්‍රයක් මිලයට ගෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට ඉදිරිපත් වීමයි. කාර්යාංශයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ බිය විය යුතු නැති අතර ඇති තරම් අයදුම්පත් නිකුත් කරන බවයි. එසේම දැනටමත් තිස් දහසකට ආසන්න පිරිසක් මෙම අයදුම්පත් මිලයට ගෙන ඇත. නිලධාරියා ගේ ප‍්‍රකාශයට අනුව සමත්වන පන්දහසකගේ නම් ප‍්‍රකාශයට පත් කරනු ඇත. ඉංග‍්‍රීසි හෝ දෙමළ ඉගෙන ගන්නට උනන්දුවක් නැති මෙම තරුණ පිරිස රටේ නායකයාගේ ප‍්‍රකාශය නොසලකා නිලධාරීන් පවත්වන කොරියානු භාෂා විභාගයට පාන්දර සිට පෝලිමට එකතු වන්නට ඇත්තේ භාෂාව ඉගෙන ගන්නට තවත් දස දහස් ගණනින් මුදල් වැය කර අවසානයේ බව පැහැදිලිය. කොළඹ අපවිත‍්‍ර මුඩුක්කු කොරියාව යැයි අදත් හදුන්වන බව මේ තරුණන් නොදන්නවා විය නොහැකිය.


1960 වකවානුවේ තායිවානය, මලයාසියාව ශ‍්‍රී ලංකාව ඇතුලූ ආසියාවේ රටවල් ගණනාවක් පසුවූයේ ඒක පුද්ගල ආදායම අතින් ඇමරිකානු ඩොලර් 160 උපයන මට්ටමකය. කොරියාව පසුවූයේ එයටත් පහල දරිද්‍රතා සීමාවකය. පසුගිය දශක කිහිපය තුළ කොරියාව කාර්මික හා කෘෂිකාර්මික අතින් දියුණුවක් ලැබීය. අදත් ලංකාවේ මුඩුක්කු කොරියාව හැටියට හ`දුන්වන නමුත් හැබෑවටම අපේ තරුණන් කොරියාවට යන්නට උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාව දියුණු නොවී කොරියාව දියුණු වූ බව අවබෝධ කරගෙන ඇති හෙයිනි.


කොරියාවේ ඇත්තේ පහසු රුකියා නොවේ. එරට ශ‍්‍රම බලකාය විසින් ප‍්‍රතික්ශේප කරන සේවා ඉටු කර ගන්නට කොරියානු රජය ආසියානු රටවලින් ලාභ ශ‍්‍රමිකයන් ගෙන්වා ගනියි. තද නීති හා වෙනස් කාලගුණය යටතේ අධික වෙහෙසක් දරා වැඩ කරන්නට සූදානමක් කොරියාවේ රුකියා අපේක්ෂා කරන්නන්ට තිබිය යුතු අනිවාර්ය සුදුසුකමකි. දස දහස් ගණනින් ධෛර්යවන්ත තරුණන් පාන්දර සිට පෝලිම් ගැසී, අලූත් භාෂාවක් ඉගෙනගෙන කවර වේදනාවක් හෝ දරමින් යමක් උපයා ගන්නට තතනන විට මේ ලාංකික දරුවන් වෙනුවෙන් අලූත් සැලසුමක් සකස් කළ යුතු යැයි මෙරට බලධාරීන්ට නොපෙනෙන්නේ මන්ද?


ශ‍්‍රමය පදනම් කරගත් විදේශ රුකියාවක් යනු නූතන වහල් සේවයකි. කම්හල් විසින් අඩු වැටුපකට විදේශීක ශ‍්‍රමය කැදවන අතර එහි ලාභයෙන් දියුණු වන්නේ ඒ රටවල සමාගම් හා ඒ රටේ ආර්ථීකයයි. වෙහෙස වී උපයා ගන්නා මුදලක් ඇත්නම් රටට එවන අතර විදේශ රුකියා කරන පිරිස් රටට එවන මුදල අද ශ‍්‍රී ලංකාවේ විනිමය ඉපැයීමේ ප‍්‍රධානම ආදායම් මාර්ගයයි. පසුගිය වසරේ එයින් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කි. ශ‍්‍රි ලංකාවට මේ ආදායම උපයා දෙන ලාංකිකයන් ගෙන් සියයට අසූ පහක් වෘත්තීය පසුබිමක් රහිත මැදපෙරදිග හා ආසියානු රටවල මෙහෙකාර ඇතුලූ සුලූ රුකියාවන්හි නිරතව සිටිති. ලංකාව හැරුණ විට මෙවැනි ශ‍්‍රමයකින් වැඩි ආදායමක් උපයා ගන්නේ පිලිපීනය වන අතර පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් උපයා ගත් පිලිපීනය වෘත්තීය පුහුණුව නැති ශ‍්‍රමිකයන්ට විදේශ ගතවීම මේ වන විට ප‍්‍රතිපත්තියක් වශයෙන් තහනම් කර තිබේ.


ලෝකයේ උතුම් රට වශයෙන් විරුදාවලි ලැබ මෑතක දී භයානක ත‍්‍රස්තවාදය පරදවා සිටින ශ‍්‍රී ලංකාව පිලිපීනය අත්හැර දමන වෘත්තීය පුහුණුවක් නැති ශ‍්‍රමිකයන් රට යවා ඩොලර් උපයන්නට මහන්සිවන දේශය හැටියට අනාගත දිනක ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ විය යුතු නැත. විදේශ රුකියා කිරීම අතහැර රට වෙනුවෙන් වැඩ කරන තරුණ පිරිසක් ගොඩනගන්නට බලධාරීන් වහා අවශ්‍ය පියවර ගත යුතුය. අධයාපනය අවසන් කරන ලද ලක්ෂ ගණන් තරුණ තරුණියන් රට පුරා සිටී. ඔවුන්ට රජයේ රුකියා සැපයීම එකම උත්තරය නොවේ. අලූයම සිට පෝලිමේ සිටිමින් වෙනත් භාෂා පවා ඉගෙන ගනිමින් පෙන්වන කුසලතාව සැලකිල්ලට ගත යුතුය. මෙම පිරිසට සුලූ හෝ අවස්ථාවක් දිය හැකිනම් ඔවුන් දවසක රටේ ආඩම්බරයට හේතුවන තරුණන් බවට පත්වනු නිසැකය.


මෙම කරුණන්ට බැංකුවකින් ණයක් දෙන්නේ නැත. සුලූ හෝ ඉඩම් කැබැල්ලක් නැත. අලූත් අදහසක් ව්‍යාපාරයක් ගැන සංකල්පයක් ඇති වුවහොත් කියන්නට කෙනෙක් නැත. තම හැකියාව ගැන කියා ඉඩමක් හෝ ණයක් ඉල්ලා ඒ හැකියාව අනුව අභිමානයෙන් යමක් කරන්නට මේ කොරියාවට යන ඕනෑම තරුණයෙකු සූදානම් බව තේරුම් ගන්නට විශේෂ පර්යේෂණ අනවශ්‍යය. චරිත රත්වත්ත මහතා සභාපතිව සිටි අවධියේ ජාතික තරුණ සේවා සභාව තරුණන්ගේම රුපියල් දහය බැගින් කොටස් අලෙවි කර නිස්කෝ අරමුදලක් ගොඩ නගා තරුණන්ට ස්වයං රුකියා දෙන වැඩ පිළිවෙලක් අරඹන ලදී. එය සාර්ථක විය. වානිජ බැංකු විසින් ණයක් දෙන්නට වත්කම් හොයන යුගයක හැකියාව අනුව ණය නිකුත් කළ නිස්කෝ වැඩ පිලිවෙලට පසුව වානිජ බැංකු එකතු වූ අතර මේ නිසා රට පුරා ලක්ෂ ගණනින් සුලූ ව්‍යාපාරිකයන් බිහිවූ අතර පසුව එය කොතරම් ප‍්‍රබල බලවේගයක් වූයේ ද යත් ණය දෙන්නට ඉදිරිපත් නොවූ ප‍්‍රකට රජයේ බැංකුවක් පසුව එම ව්‍යවසායකයන් ගේ නිෂ්පාදන විකුණන්නට කොළඹ යුනියන් පෙදෙසේ විශාල භූමියක් විවෘත පොලක් බවට පරිවර්තනය කරන්නට ඉදිරිපත්විය. මේවා ලංකාවේ සාර්ථකත්වය ගැන අත්දැකීමිය. මේ දක්ෂ නිලධාරී කණ්ඩායම තරුණ සේවා සභාවට අහිමි වීම සමග දැන් ඒ නිස්කෝ සමුපකාරයේ අරමුදල් පවා අතුරුදහන්ව බවට සැකයක් නැත.


වර්තමානයේ විදේශ රුකියා නියුක්ති කාර්යාංශය වසා දමා නව තරුණ නියුක්ති කාර්යංශයක් ජාතික වැදගත්කමක් සේ සලකා වහාම ආරම්භ කළ යුතුය. තරුණන්ගේ දක්ෂතා හ`දුනාගෙන, ඔවුන්ගේ කැපවීම හා ධෛර්යය අනුව මෙරට තුළ යමක් නිපදවන සේවාවක් ආරම්භ කරන හෝ වෙළදාමක් මගින් ජීවිතය ජය ගන්නට අවස්ථාව සැක සිය යුතුය. එවිට පිටරටින් එන ඩොලර් බිලියන ගණනට වඩා දේශීයව විශාල සංවර්ධනයක් සිදුවනු නොඅනුමානය. එදා ශ‍්‍රී ලංකාවට පහලින් සිටි ආසියාවේ සියලූම රටවල් ඉදිරියට පැමිණියේ මෙවැනි අලූත් ව්‍යාපාර මගින් විනා කොරියාවේ හෝ මැදපෙරදිග රුකියා මගින් වැඩි වැඩියෙන් විනිමය ඉපැයීමෙන් නොවේ.

-මිණිසර

No comments:

Post a Comment