Do you like to read weekly my Econocolama

Sunday, August 1, 2010

01.08.2010 - රාවය - පුද්ගලීකකරණය ගැන යළි ආපසු හැරී බලන්නට අවස්ථාවක්


මෙරට අලාභ ලබන රාජ්‍ය ආයතන ගැන යළි කතා බහක් ඇතිවන්නට පටන් ගෙන තිබේ. රාජ්‍ය පෞද්ගලික ආයෝජනය සදහා ඉඩ ලැබෙන සංස්ථාවක් පිහිටුවීම ගැන අදහසක් ද ඇත. මේ සියල්ල මතුවන්නේ මහින්ද චින්තන සංකල්පය අනුව රජයේ දේපොල විකුණන්නේ නැති බව ප‍්‍රකාශ වන අතරය. මැතිවරණ වේදිකාවේ දී රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන බවට එකිනෙකාට චෝදනා කර ගන්නා නමුත් ආණ්ඩුවකට මෙම රටේ සම්පත් ආරක්ෂා කර පවත්වාගෙන යන්නට දරන්නට ඇති අමාරුව දන්නේ මහා භාණ්ඩාගාරය පමණකි.

මේ අවුරුද්දේ රජය පොහොර සහනාධාරය වෙනුවෙන් රු. බිලියන 30 ක් වැය කරයි. අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන දෙන්නට වෙන් කර ඇති මුදල රු. බිලියන 35 කි. අලාභ ලබන රජයේ ආයතන වෙනුවෙන් භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රු. බිලියන 42.2 ක් බව දැක්වේ. රජයේ ආයතන විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් ගන්නා ණය හා ඒ වෙනුවෙන් ගෙවන අතිරේක වැයක් ඇත්නම් එය මෙයට ඇතුලත් නැත. මහජනතාවගෙන් බදු වශයෙන් රුපියලක් උපයා ගන්නට භාණ්ඩාගාරය ගන්නා වෙහෙස දන්නේ ඔවුන් පමණකි. එහෙත් ඒ මුදල් ලෙහෙසියෙන් වියදම් කරන්නට ආණ්ඩුවේ ඕනෑම ආයතනයක් සූදානම්ය. නිදහස ලැබූ දා පටන් ම පැවතුනේ මේ ක‍්‍රමයයි.

ආර්ථිකය ගැන සැලැස්මක් නැතිව දිගින් දිගටම ණය ගනිමින් රාජ්‍ය ආයතන නඩත්තු කරන ආකාරය දෙස අවධානයෙන් බලා සිටි ලෝක බැංකුව 1987 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවට මුලින්ම යෝජනා කළේය. රජය එය ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තේය. එයින් වසර දෙකකට පසු අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන සොයා බලා තීන්දු ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර අවුරුදු පහක් ඇතුලත ප‍්‍රවාහන, වැවිලි ඇතුලූ ආයතන 43 ක් පෞද්ගලීකකරණය කිරීමට රජය සමත්විය.

ජනාධිපති කොමිසමක් පත් කරන විට විද්වතුන් සේවකයන් හා වෘත්තිය සමිති එකතු වී ඔබ සතුකරණය වැනි සිත්ගන්නා සංකල්ප වලින් සේවකයන්ට කොටස් හා වන්දි ගෙවමින් දිගින් දිගටම පාඩු ලබමින් සිටි රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීම වේගවත්වූ අතර 1997 වසර අවසානයේ දී මහජනතාවට දැනෙන ගුවන් සේවය, ටෙලිකොම් හා ගෑස් ඇතුලූ ව්‍යාපාර සමග පෞද්ගලීකකරණය කරන ලද ව්‍යවසාය ගණන හැත්තෑ පහක් දක්වා ඉහල ගියේය. මේ අතරවාරයේ පෞද්ගලීකකරණ වැඩසටහන විධිමත්ව කරගෙන යාම උදෙසා කැබිනට් අනුමැතිය ඇතිව 1995 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ කොමිසම ස්ථාපිත කරන ලද බව ද අමතක කළයුතු නැත. රජයේ තොරතුරු වලට අනුව 1997 වසර අවසන් වන විට එතෙක් ආණ්ඩුවේ අයවැය ලේඛනයට බරක්ව තිබුණ ආයතන දෙස් විදෙස් ආයෝජකයන්ට විකිණීමෙන් හා කලමනාකරණය පැවරීමෙන් රු. බිලියන 47.3 ක් නොඑසේනම් ඇමරිකානු ඩොලර් මිලියන 715 ක් උපයා ගන්නට හැකිවිය. මෙම ව්‍යවසාය නැවත පණ ගැන්විම සදහා විදේශ රටවලින් මෙරටට ගලා ආ ආයෝජනවල වටිනාකම් ඇමරිකානු ඩොලර් මිලියන 465 කි. ආදායමක් ලබන අතර තවත් විනිමය රටට ගෙනැවිත් නැවත පණ ගන්වන ලද එතෙක් අලාභ ලබමින් තිබුණ ආයතන හෙයින් රටේ ණය බර අඩු වූ අතර ගෙවුම් ශෙෂ පරතරය අඩු වී වාසි දායක බවක් ඇති කළේය. රජයේ ණය පොලී අඩුවූ අතර ව්‍යාපාර වලින් ලැබෙන බදු රජයේ ආදායමට එකතු විය. වෘත්තීය සමිති දක්වන අන්දමට මෙම ආයතන වල සේවය කරමින් රජයේ වැටුප් ලබමින් සිටි පණස් දහසකට පමණ රුකියා අහිමි වූ අතර හැම පුද්ගලයෙකුටම වන්දියක් ගෙවීය. මේ පුද්ගලයන්ට වන්දි මුදල් වලින් ව්‍යාපාරයක් හෝ වත්කමක් මිලදී ගන්නට අවස්ථාව උදාවූ අතර වෙන සමාගමක රුකියාව කරන්නට ද ඉඩ කඩ ලැබිණ. පුද්ගලීකරණය සිදුවන පරිවර්තන කාලය තුළ සමාජ ප‍්‍රශ්න ඇති කරන ලද අතර ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ විසින් ඇති කරන ලද මහජන මතය නිසා මෙය රටට විනාශය අත්කරන රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමක් ලෙස මහජනතාව සිතන්නට පටන් ගත්තේය. කොමිස්, වංචා හා දුෂණ වැනි වචන ද එයින් පසු කොමිෂන් සභා පත්කර ඇත්ත හොයන ස්වභාවය දක්වා පෞද්ගලීකරණය බරපතල ප‍්‍රශ්නයක් කළේය.

මේ කාලයේ ලෝකයේ නොයෙක් රටවල මෙකී ප‍්‍රතිපත්තිය පිළිගෙන තිබිණ. රජයේ තීන්දු ගැනීමේ විලාශය හා තරගකාරීත්වයට මුහුණ දිය හැකි කාර්යක්ෂම පාලනයක් නොමැතිවීම නිසා එයටහපන්කම් පෙන්වන පුද්ගලික අංශයට ව්‍යාපාර මෙහෙයවීම පවරන ලද අතර එයින් රුකියා අවස්ථා ලාභ හා බදු ආදායම ජාතික ආදායමට එකතු වූයේය. මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දියාව පවා මෙම අත්දැකීමෙන් සාර්ථකත්වය ලැබීය. දේශපාලනය අනුව තීන්දු ගන්නා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට මෙරට ආයතන පාලනය කරගත නොහැකි වූ නමුත් ඉන්දියන් ඔයිල් වැනි එරට රජය සතු ව්‍යවසාය ලෝකයේ ඉසුරුමත්ම සමාගම් 500 අතරට ගෙන ගියේ රජයේ නිලධාරීන් ගේ පාලනයෙන් බවද සදහන් කළ යුතුය. එහි ඇත්තේ දේශපාලන මැදිහත්වීමෙන් අකාර්යක්ෂම පාලනය හා කාර්යක්ෂමව තීන්දු ගැනීම නිසා ඉන්දීය සමාගම් ලෝකයේ පළමු තැනට පත්වූ බවයි.
ආණ්ඩු වෙනස් වන විට රටේ ප‍්‍රතිපත්ති වෙනස් වෙයි. එයට මග පෑදෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දේශපාලන වේදිකාවේ දී කරන කතා අනුවය. රටේ සම්පත් විකුණා දැමීම ගැන චෝදනා කළ අයට බලයට පත්වූ පසු ඒවා ප‍්‍රසිද්ධීයේ විකුනා දැමිය නොහැකිය. මේ නිසා 2004 වසරේ දී උපායශීලී ව්‍යාපාර කළමණාකරන ඒජන්සිය පිහිටුවන ලද අතර එයින් ‘‘විකුණා දමන්නට’’ තීන්දු කර තිබුණ ආයතන කළමණාකරනය කර ලාභ ලබන තත්ත්වයට පත් කළේය. මහජන බැංකුව මෙම ඉරණමට මුහුණ දුන් අතර එය ප‍්‍රතිසංස්කරණයවිය. මහජනතාවගේ තැන්පතු වලට සියයට හයක සිට අටක දක්වා පොලියක් ගෙවන අතර සියයට විසි එකක සිට විසි පහ දක්වා ණය පොලී ආදායමක් ලබන බැංකුවකට යළි ගොඩ එන්නට අලූත් මාවතක් අවශ්‍ය නැත. මේ වාසියේ පිහිටෙන් පෞද්ගලික බැංකු අවුරුදු පතා රුපියල් බිලියන ගණන් ලාභ උපයති. මෙම ආයතනය මෑතක දී ඇඹිලිපිටිය කඩදාසි කම්හල රජයේ මැදිහත්වීමෙන් යලි පණ ගැන්වීය. රජය යෙදවූ මුදල රු. මිලියන 250 කි. තවත් මිලියන 90 ක හි`ග විදුලි බිලක් සහිතව මාස තුනක් ඇතුලත එය වැසී ඇත. වාලච්චනෙයි කඩදාසි, කන්තලේ සීනි යන කම්හල් යළි බල ගන්වන්නට මේ කමිටුව උනන්දුවෙයි. රජයට කොපමණ මුදලක් වැය කරන්නට සිදුවනු ඇත්ද? මේවා ව්‍යාපාරිකයන්ගේ මුදල් නොව මහජන මුදල්ය. බිලියන දහයක් අලාභ ලබන ශ‍්‍රි ලන්කන් ආපසු රටට අත්පත් කරගත්තේ හා ෂෙල් සමාගම මුදල් ගෙවා ආපසු ගන්නට උත්සාහ කරන්නේ රටේ සම්පත් ආපසු දිනා ගැනීමක් හැටියටය.

නිදහස ලබා හැට අවුරුද්දකට පසුවත් අත්හදා බලමින් එකිනෙකාට චෝදනා කරමින් සිටීමට වඩා සියයට දහයක ට වඩා ආර්ථීක වර්ධනයක් ගැනීමට ගත යුතු මග කුමක්දැයි සිතා බැලීම වටී.



-මිණිසර

No comments:

Post a Comment