Do you like to read weekly my Econocolama

Sunday, August 1, 2010

2010.07.25 - රාවය-පාරිභෝගිකයා වෙනුවට ආයතන රකින්නට වෙහෙසෙන නියාමන කොමිසම

විදුලි සංදේශ නියාමන කොමිසම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයවන ජංගම දුරකථන සමාගම් ලාභදායී තත්ත්වයෙන් පවත්වාගෙන යාම පිළිබද අනවශ්‍ය උනන්දුවක් දැක්වීම කේෂේත‍්‍රයේ විද්වතුන්ගේ මවිතයට හේතුවී තිබේ. පසුගිය ජූලි 15 වැනිදා සිට බලපවත්වන පරිදි අලූතින් ජංගම දුරකථන සම්බන්ධතා මිලදී ගන්නා ග‍්‍රාහකයන් ස්වකීය ඇමතුම් වෙනුවෙන් නිශ්චිත අවම ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම නියමය හදුන්වා දී ඇත්තේ මෙරට සේවා සපයන සමාගම් තරගකාරීව අඩු මිලට දුරකථන පහසුකම් සපයන්නට යාමෙන් ඇතිවිය හැකි ව්‍යාපාර බිදවැටීම් වලකා ගැනීමේ අරමුණෙන් බව ප‍්‍රකාශවෙයි.

නියාමන කොමිසමකින් අපේක්ෂා කරන්නේ සමාගම් අතර තරගකාරීත්වය හෙයින් පාරිභෝගිකයන්ට අවාසියක් වන අවස්ථාවේ මැදිහත්වීම වන නමුත් මේ අවස්ථාවේ ව්‍යාපාර මෙහෙයවන සමාගම්වල ආදායම ගැන බෙහෙවින් සැලකිලිමත්වීම වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින මෙරට ජංගම දුරකථන සේවාවන් කෙරෙහි සියුම් බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.
දැනට ඩයලොග් ඇක්සියාටා, එයාර් ටෙල්, එටිසලාට්, හචිසන් සහ ටෙලිකොම් මොබිටෙල් යන සමාගම් මෙරට ජංගම දුරකථන සේවා සැපයීමෙහි නිරත අතර ස්ථාවර දුරකථන ඉල්ලීම අඩුවෙමින් හා ජංගම දුරකථන භාවිතය වැඩිවෙමින් පවතින අවස්ථාවක නියාමන කොමිසම ගත් තීරණය අනුව අලූතින් ලබාගන්නා සම්බන්ධතා වලට අවම ඇමතුම් ගාස්තුවක් ගෙවන්නට සිදුවනු ඇත. සීමිත වෙළදපොල අවස්ථා දිනා ගැනීම සදහා ජංගම දුරකථන පහසුකම් සපයන ආයතන ඉතාමත් අඩු ගාස්තු අයකිරීම් යටතේ සේවා සපයන්නට ඉදිරිපත්ව තිබේ. මේ නිසා ඇතැමි සමාගම් අර්බුදයට පත්ව ඇතැයි දුරකථන කේෂේත‍්‍රයේ තොරතුරු අනාවරණය කරයි. මෙම සමාගම්වල මූල්‍ය තත්ත්වය කෙරෙහි සැලකිලිමත් වෙමින් අවම ගාස්තු නියම කර ඇති අතර එය ජාත්‍යන්තරයේ මේ වන විට දුරකථන ඇමතුම් ගාස්තු ඉතාමත් අඩුවෙමින් පවතින අවස්ථාවක එයට එරෙහිව යමින් ගත් තීරණයක් වශයෙන් ද සැලකෙයි. මේ වන විට ජාත්‍යන්තර දුරකථන ගාස්තු අඩුවෙමින් අතර දුරකථන සමාගම් ඇමතුම් කාලය නොමිලේ සපයමින් දත්ත හුවමාරුව හෙවත් අන්තර්ජාල හා ඊමේල් සම්බන්ධතා වලින් ආදායම් උපයාගෙන සමාගම් පවත්වාගෙන යන මට්ටමට තාක්ෂණය දියුණු වෙමින් පවතින බව ජගත් පර්යේෂණ වාර්තා දක්වයි. මේ අතර වෙබ් අඩවි හරහා දෙස් විදෙස් ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකි අවස්ථාතිබියදී අවම ගාස්තු ක‍්‍රමය ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අතිරේක බරක් වනු ඇත.

එපමණක් නොවේ, දැනටමත් මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන ජංගම දුරකථන සමාගම් මෙම තීන්දුවට එරෙහිව නඩු මගට බසින්නට තීරණය කර ඇත. දැන් මහජනතාවගේ අයහපතට හේතුවන තීන්දුවක් සමාගම්වල යහපත වෙනුවෙන් ගත් නියාමන කොමිසම ආරක්ෂා කරන්නට මහජනතාවගේ බදු මුදලින් තීති ගාස්තු වැය කිරීම යුක්ති සහගත යැයි කියන්නේ කවුද?


ජාත්‍යන්තර වාර්තා අනුව 2009 අවසන් වන විට ජංගම දුරකථන සබදතා බිලියන 4.6 ක් ලෝක වාසීන් පරිහරණය කරමින් සිටියේය. 2004 වසර වන විට සියයට 1.4 ක වර්ධනයක් පෙන්නුම් කළ ජංගම දුරකථන නව සම්බන්ධතා ඇතිවීම 2009 වසර වන විට සියයට 21 ක වර්ධනයක් දක්වා ඉහල ගොස් තිබේ. චීනය හා ඉන්දියාව ලෝකයේ වැඩිම ජංගම දුරකතන සම්බන්ධතා ඇති රටවල්ය. ඇමරිකාව, රුසියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසිලය සෙසු රටවල්ය. මේ අතර ජංගම දුරකථන ව්‍යාප්තියේ වේගවත්ම වර්ධනය ලෙස සැලකෙන සියයට 46.1 ක ඉහල යාමක් පෙන්නුම් කරන්නේ ශ‍්‍රි ලංකාව ද ඇතුලත් අග්නි දිග ආසියානු කලාපයේය.

2010 වසරේ පළමු කාර්තුව අවසන් වන විට ශ‍්‍රි ලංකාවේ ජංගම දුරකථන භාවිතය මිලියන 15 ඉක්මවා ඇති අතර එය සියයට තිහක වර්ධනයකි. රුහැන් සහිත දුරකථන නව සම්බන්ධතා ඉල්ලූම අඩුවී ඇති අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා, ලංකා බෙල් හා සන්ටෙල් වැනි ආයතන විසින් සපයන රුහැන් රහිත එහෙත් ස්ථාවර දුරකථන නව සම්බන්ධතා සැපයීම ද සියයට 4.7 ක සුථ වර්ධනයක් දක්වයි. මේ අතර මෙරට අන්තර් ජාල සම්බන්ධතා ප‍්‍රමාණය ලක්ෂ දෙකහමාර ඉක්මවා සියයට හතකට ආසන්න වැඩි දියුණුවක් ද පෙන්වා ඇතැයි දුරකථන සමාගම් සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. දත්ත සම්ප්‍රෙශනය සම්බන්ධව ඉහල යමින් පවතින ඉල්ලූම හරහා ව්‍යාපාර ආදායම් නංවා ගැනීමට ඉඩකඩ තිබියදී ව්‍යාපාර මූල්‍ය තත්ත්වය සලකා අවම ගාස්තු අයකිරීමේ තීරණයකට විදුලි සංදේශ නියාමන කොමිසම අවතීර්ණ වී ඇති බව මෙයින් ඉතාමත් පැහැදිලිය.


විදුලි සංදේශ නියාමන කොමිසම දැන් අවුරුදු ගණනක් තිස්සේ මෙරට දුරකථන සමාගම් සමග අර්බුදයක පැටලී සිටියි. ඒ අනුව සමාගම් අතර අය කරන අන්තර් සම්බන්ධතා ගාස්තු පිළිබද පැහැදිලි ප‍්‍රතිපත්ති තීරණයක් ගන්නට අපොහොසත්ව ඇත. එයට වඩා තීරණාත්මක එකක් වී ඇත්තේ රටපුරා විදුලි සංදේශ කුලූණු ඉදිකිරීම අරභයා පොදු අදහසකට පැමිණෙන්නට නොහැකිවිමයි. සෑම දුරකථන සමාගමක්ම රජයේ හා පොදු දේපොළ උපයෝගී කර ගනිමින් සිය සංඥා විකාශනය වෙනුවෙන් කුලූණු ඉදිකරයි. මේවා පරිසරයට හානිකරය. එපමණක් නොවේ මේවායේ ඉදිකිරීම් හා නඩත්තුව වෙනුවෙන් වැය වන මුදල ගෙවන්නේත් එදිනෙදා ඇමතුමක් ගන්නා පාරිභෝගිකයන්ය. මෙම කුලූණු සියල්ල ඉවත්කර පොදු සංඥා පද්ධති ඇති කළහොත් සමාගම් වලට මේවා කුලියට ගත හැකි අතර එයින් ඕනෑම සමාගමක සියලූම දුරකථන පාවිච්චි කරන්නන්ට හැම ප‍්‍රදේශයකදීම එක හා සමාන ආවරණ කලාපයක සිටීමේ භාග්‍යය හිමිවෙයි. දැනට ප‍්‍රශ්නයක් වී ඇති රූපවාහිනි ඇන්ටෙනා විවිධ පැතිවලට හරවමින් එක් එක් නාලිකා බලන්නට මහජනතාවට සිදුවී ඇති හිරිහැරයට විසදුමක් දිය හැක්කේ ද නියාමන කොමිසමට පමණකි. මෙවැනි ප‍්‍රායෝගික අවස්ථා ගැන පුලූල්ව කරුණු අධ්‍යයනය කර විසදුම් නිර්මාණය කරන්නට හැකි නියාමන කොමිසම ස්ථාවර ගාස්තු වැනි යල් පැන ගිය පටු තීරණයකට අවතීර්ණ වීම ගැටලූවකි.

No comments:

Post a Comment