Do you like to read weekly my Econocolama

Thursday, August 5, 2010

2010.08.08 - රාවය - විදේශ වෙළදාමේ ඉහල පරතරය ආර්ථීකයට බලපෑමකි.

ආනයනය කළ කුකුලූ මස් මෙටි‍්‍රක් ටොන් හාරදහස් දෙසීයක් ගැන මාධ්‍ය වාර්තා කළ අතර පසුව දැනගන්නට ලැබුනේ මෙයින් එක් කන්ටේනරයක තිබුණ මස් සෞඛ්‍ය අංශ වල අනුමැතිය රහිත හෙයින් විනාශ කළ බවය. වෙළද අමාත්‍යංශය මෙරට කුකුලූ මස් හිගයට පිළියමක් වශයෙන් පිටරටින් ගෙන්වන්නට අදහසක් ඇති බව කියා සිටි අතර එය දැනගත් වහාම කිසිදු වග විභාගයකින් තොරව මස් ආනයනය කළ ව්‍යාපාරිකයාට සිදු වූයේ අලාභයකි. අනවසර මස් තොගය විනාශ කර ඇති නමුත් රටට විනිමය අතින් සිදුවූ හානියට පිලියමක් නැත. වෙළද පොළ අවශ්‍යතාවයක් පැන නැගුණු වහා එයට යුහුසුලූ වී ලාභ ඉපැයීමට තැත් කිරීම ශූර ව්‍යාපාරික ඥානයයි. සත්ව පාලනයෙහි යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කළා නම් දින හතලිස් අටක් ඇතුලත රටට හිග කුකුලූ මස් සපයා ගන්නට හැකි වනු ඇති බව රටේ පාලකයන් නොදැන සිටි අඥානවත්තකමයි.


විවෘත ආර්ථිකයක් පවතින රටක ආනයන අපනයන සම්බන්ධයෙන් පාලනයක් පැවතීම සාධාරණ නැත. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මෙරට ගෙවුම් ශේෂය හා විනිමය භාවිතය ගැන ගැඹුරින් සැලකිලිමත් විය යුතුය. මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස පහ ඇතුලත ශ‍්‍රී ලංකාවේ වෙළද පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා සියයට 117 කින් වැඩිවී ඇති බව මහ බැංකුවේ අලූත්ම වාර්තා පෙන්වයි.


මෙරටින් අපනයනය කරන නිෂ්පාදන වෙනුවෙන් රටට විනිමය ආදායමක් ලැබේ. එහෙත් රටට අතවශ්‍ය දේ ආනයනය කරන්නට මේ විනිමය යළි කරන්නට සිදුවේ. අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වූ විට ඒ අතර පරතරයක් ඇතිවෙයි. කලින් වසරට සාපේක්ෂව මෙම පරතරය සියයට එකසිය දාහතකින් වැඩිවන විට එහි පීඩනය ඇතිවන්නේ විදේශ විනිමය හිගවීමෙන් රටේ ආර්ථිකය ගැටලූ සහගත තත්ත්වයට පත්වන අවස්ථාවේදීය. සීමාවකින් තොරව වාහන ගෙන්වන විට, කුකුලූ මස් ඇතුලූ රටට අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන විට වැය වන්නේ රටේ විදේශ විනිමයයි.


2010 වසරේ ගතවූ මාස පහ ඇතුලත මෙරට අපනයන සියයට 11 කින් වැඩිවි ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2,926.72 කි. කෘෂිකාර්මික අපනයන මේ වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වා තිබේ. එය ඇ. ඩොලර් මිලියන 754.7 දක්වා සියයට 27 ක වර්ධනයකි. කර්මාන්ත අපනයන ආදායම සියයට 6.5 ක ප‍්‍රගතියක් පෙන්වා ඇති අතර ඇ. ඩොලර් මිලියන 2,132.2 ක් වන එයින් ඇ. ඩොලර් මිලියන 1197 ක් ම රෙදිපිළි හා ඇගලූම් ආනයනයෙන් ලද ආදායමයි. සමස්ථයක් වශයෙන් කාර්මික අපනයන අංශය සියයට 6.5 ක ඉහල යාමක් පෙන්වන නමුත් ඇගලූම් අපනයන ආදායම සියයට 7.5 කින් අඩුවී තිබීම ද සැලකිල්ලට ගත යුතුය. මේ අතර වාරයේ ආනයන වියදම මෙම කාලය තුළ ඇ. ඩොලර් මිලියන 5,277.38 තෙක් කලින් වසරට සාපේක්ෂව සියයට 42 කින් වැඩි වී ඇත. ඛනිජ තෙල්, කිරි පිටි, සීනි, මෝටර් රථ හා මෝටර් සයිකල් ආනයනය මෙම කාලය තුළ වැඩි වී ඇති අතර ජනවාරි මැයි මාස පහ අතර අවසන් මාස දෙක තුළ මෝටර් රථ ආනයන බදු අඩු විම නිසා ආනයන විශාල වශයෙන් වැඩි වී ඇති බව ද දැක්වේ. පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට වඩා බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන වියදම ඇ. ඩොලර් 66 ක සිට 81 දක්වා වැඩි වි ඇති අතර වාහන ආනයනය වැඩි වීම සමග ඉදිරියේදී මෙරට ඛනිජ තෙල් අවශ්‍යතා ඉහල යනු ඇත. ලෝකයේ තෙල් මිළ ඉහල යමින් පවතී. දැනට සාමාන්‍යයෙන් ඇ. ඩොලර් 77 ක් පමණ වන බොරතෙල් බැරලයක් 2011 වසරේ පළමු කාර්තුවේ දී ඇ. ඩොලර් 100 ට සමීප වනු ඇතැයි ආර්ථීක විශ්ලේශකයන්ගේ අදහසයි. මේ අනුව මේ වසරේ මෙරට ආනයන හා අපනයන පරතරය වැදගත් ආකාරයකට පාලනය කර ගත නොහැකි වුවහොත් ගැටලූකාරී වාතාවරණයකට ඉඩ කඩ ඇත.


අපනයන ආදායම ප‍්‍රමාණවත් නොවන විට ශ‍්‍රි ලංකාව විදේශ විනිමය සම්බන්ධයෙන් යැපෙන්නේ මැදපෙරදිග ඇතුලූ රටවල වෙහෙසෙන මෙරට ජනතාව දුක් මහන්සියෙන් උපයා රටට එවන මුදලින්ය. මෙම මාස පහ ඇතුලත විදේශ රුකියා කරන ලාංකිකයන් විසින් මෙරටට ඇ. ඩොලර් මිලියන 1498 ක මුදලක් එවා ඇත. මෙය කලින් වසරේ සම කාල සීමාවට වඩා සියයට 13.3 ක වැඩි වීමකි. අවසානයේ දී අපනයන ආදායමත් මේ විදේශ රුකියාවන්හි නිරත පිරිස් එවන මුදලත් විදේශ වෙළ`දාමට වැය වන අතර කලින් වසරේ මුල් මාස පහට සාපේක්ෂව විදේශ වෙළ`දාමේ පරතරය සියයට 117 කින් වැඩි වීමෙන් මෙය යම් පමණකින් පාලනය කර ගත යුතු හෝ අපනයන ආදායම නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු මොහොතක දැන් පසු වන බව පෙනේ.


විදේශ විනිමය අනුපාත සැලකීමේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියගේ අගය ශක්තිමත් වි තිබීම ද සැලකිල්ලට ගත යුතුය. දැනට මාස 5.1 ක ආනයන වෙනුවෙන් ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ ආධාර සමග සලකන විට ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීමට ඉඩකඩ අඩුය. රුපියලේ අගය ශක්තිමත්වීම අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපාන බැවින් යම් ප‍්‍රමාණයකින් අගය අවප‍්‍රමාණය කරන ලෙස අපනයන කරුවෝ ඉල්ලා සිටිති. මේ අතර මේ වසර අවසන් වනනට කලින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන දහසක මුදලක් ජාත්‍යන්තර බැදුම්කර වශයෙන් ගන්නට රජය සූදානම්ය. මේ සියල්ල විසින් පෙන්වා දෙන්නේ දුර දක්නා නුවණකින් විදේශ ආදායම හැසිරවිය යුතු බවය. යුධමය පරිසරයකට පසු සමාජයේ බලාපොරොත්තු ඉහල ගොසින් තිබේ. නිසි කලමණාකරණයකින් තොරව විදේශ වෙළදාම හැසිරවුවහොත් අනාගතයේ ඇතිවන අහිතකර ප‍්‍රතිපල සමස්ථයක් වශයෙන් රටට බලපානු ඇත්තේ යහපත් අන්දමට නොවේ.

-මිණිසර

No comments:

Post a Comment