Do you like to read weekly my Econocolama

Monday, September 27, 2010

රාවය - 2010.09.26- කහට තේ වෙනුවට ඖෂධීය තේ පානයට හුරුවන ජගත් තේ වෙළඳ පොළ

ශ‍්‍රි ලංකාවේ තේ රසය මුලූ ලෝකයම හදුනයි. 1867 වසර තරම් ඉතිහාසයේ දී බි‍්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටෙලර් ලංකාවට ගෙන ආ තේ පැලයක් මෙරට ආර්ථිකයේ විශේෂිත තැනක් හා ජගත්වාසීන්ගේ ඉමහත් සැලකිල්ලට ලක්වන දෙයක් බවට පත්විය හැකි බව එදා නොසිතන්නට ඇත. අද වන විට ලෝ වැසියන් ජලය හැරුණ විට වැඩිපුරම පානය කරන බවට වාර්තා වී ඇත්තේ තේ පැන්ය. තේ නිපැයුම් විශේෂිත වර්ග දෙදහසකින් පමණ සමන්විතය. දැන් ලෝක අවධානය දිනාගෙන ඇත්තේ ඖෂධීය වටිනාකමක් ආරෝපනය කළ හර්බල් හා ගී‍්‍රන් තේ සඳහා බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

තේ කර්මාන්තය මෙරටට ආදායම් ලබා දෙන අංශ අතුරින් පළමු තැනක සිටි කාලයක් තිබිණ. දැන් ඒ තැන දිනාගෙන ඇත්තේ විදේශ රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය හා ඇ`ගලූම් කර්මාන්තයේ ආදායමයි. ශ‍්‍රී ලංකාව තේ නිෂ්පාදනයේ හතරවැනි ස්ථානයට දැන් පත්ව ඇත. චීනය, ඉන්දියාව හා කෙන්යාව ලෝකයේ ප‍්‍රදානතම තේ නිපැයුම්කරුවන් බවට පත්ව තිබේ. එකී රටවල් අතර පාරිභෝජනය වැඩි හෙයින් තවමත් තේ අපනයනය අතින් ඉහලට එන්නට චීනයට හෝ ඉන්දියාවට අවස්ථාව ලැබී නැත. 1995 තෙක් ලෝකයේ ප‍්‍රධානතම තේ සැපයුම් වූ ශ‍්‍රි ලංකාව එයින් පහලට ඇද දමමින් පළමු තැන දිනාගන්නට කෙන්යාව සමත්ව ඇත. එපමණක් නොව, විශේෂ අවධානයකට ලක් නොවන මෙරට තේ කර්මාන්තය දිනෙන් දිනෙම තමන්ට ලෝක සිතියමේ හිමි තැන අහිමි කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
මේ වසරේ අගෝස්තු මාසයේ තේ නිපැයුම සියයට තුනකින් වැඩි වී ඇති බව අලූත්ම වාර්තා පෙන්වයි. එය කිලෝ ගෑම් මිලියන 25.15 කි. මේ වසරේ පළමු හය මාසය ඇතුලත තේ අපනයනයෙන් ලැබූ ආදායම රුපියල් මිලියන 625.7 කි. 2009 අවුරුද්දේ තේ අපනයනයෙන් ලැබූ ආදායම සියයට හතකින් පමණ පහත වැටුණ නමුත් මේ වසරේ එය යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සැලකේ.

ලෝකයේ තේ කර්මාන්තය අභියෝග දෙකකට මුහුණ පා සිටී. එයින් පළමුවැන්න මෙතෙක් කලූ තේ තොග වශයෙන් මිළදී ගනිමින් සිටි රටවල් විවිධ එකිනෙකට වෙනස් තේ රස හා ගුණාත්මක බව කෙරෙහි අවධානය යොමු කිරීමයි. දෙවැන්න පසුගිය අවුරුදු ගණන තුළ ලෝක තේ ඉල්ලූමට වඩා වැඩි තේ තොග ප‍්‍රමාණයක්  ලෝක වෙළ`ද පොළට ලැබීමයි. මේ නිසා තේ නිපදවන රටවල් තම අපනයනය වෙනුවෙන් කෝටා ක‍්‍රමයකට සම්බන්ධ වීමට අවධානය යොමු කර තිබේ.

ලෝකයේ තේ නිපැයුම මේ වසරේ දී ටොන් මිලියන 2.4 ක් වනු ඇත. එය සියයට 1.2 ක වර්ධනයකි. කෙන්යාව සියයට 2.3 ක් ඉන්දියාව සියයට 2.5 වශයෙන් එයට දායක වන අතර චීනය හා තවත් රටවල් කිහිපයක නැපැයුම අඩු වී තිබේ. තේ කර්මාන්තයේ හසල අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාවේ තේ නිපැයුම වැඩි වන්නේ සියයට 0.7 කින් පමණකි. ඒ අනුව කෝටා ක‍්‍රමය කෙසේ වෙතත් වැඩි නිපැයුම යන ප‍්‍රශ්නය ඇති නොවේ. එසේ නමුත් ලක්ෂ තුනකට ආසන්න සෘජු රුකියා කරන්නවුන් හා තවත් ලක්ෂ ගණනකින් යුත් වක‍්‍ර ආදායම් ලබන පිරිස ක‍්‍රමයෙන් සීමා වනු ඇත. අප‍්‍රිකානු කලාපයෙන් ජාත්‍යන්තරයට තේ අපනයනය කරන ප‍්‍රතිශතය වැඩි වෙමින් පවතී. 2000 සිට 2010 දක්වා කාලය තුළ එය සියයට 2.7 කින් වැඩි වන විට ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවලින් සියයට 2.4 ක් පහත වැටී ඇත. ශ‍්‍රී ලංකාවේ ද සුලූ පහත වැටීමකි.
ශ‍්‍රි ලංකාවේ කලූ තේ නිපැයුම හා අපනයනය බරපතල වෙනසකට ලක්වූයේ ඇයි?  දැනට වතු සමාගම්වල පවතින තේ වගා අවුරුදු ගණන් පැරණි නඩත්තුව අඩු වගා බව පෙනී ගොස් තිබේ. දැනටත් තේ නිෂ්පාදනයෙන් වැඩි දායකත්වයක් දක්වන්නේ පුද්ගලික අංශයයි. මෙම දෙපිරිසම තේ දලූ නෙලා ගැනීමේ සිට අපනයනය දක්වා පලදායකත්වය, උසස් නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවීම හා තත්ත්ව පාලනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. වැඩි වශයෙන් මේරූ  දලූ නෙලා හොඳ අවධානයකින් තොරව නිපදවන නිසා අවසානයේ දී මෙරට තේ වල උසස් තත්වය පිරිහී තිබේ. ලෝකයේ තේ මිලදී ගන්නා රටවල් අතරින් ඉහලම සිටින රුසියාව ඇතුලූ සීමිත සම්ප‍්‍රදායික රටවල් තවමත් උණුසුම වෙනුවෙන් වැඩි කහට කෝප්ප ප‍්‍රමාණයක් සකස් කර ගත හැකි කලූ තේ ගැන උනන්දුවක් දක්වන අතර බටහිර හා ආසියානු රටවල් වේගයෙන් ඖෂධීයත්වය ඇති තේ මිලදී ගැනීම ගැන උනන්දුවක් දක්වයි.

මේ බව පෙනී යන්නේ අලූත් වෙළඳ පොළ බිහිවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමෙනි. කලූ තේ නිපැයුම චීනයේ අඩුවී තිබේ. මේ නිසා තේ අපනයනයේ දී පහල බැසීමක් චීනයෙන් වාර්තාවෙයි. එනමුත් ඔවුන් වේගයෙන් ග‍්‍රීන් තේ අපනයනයේ වැඩි වෙළ`ද පොලක් අත් පත් කර ගනිමින් සිටී. ලෝකයේ ගී‍්‍රන් තේ වෙළ`දාමෙන් සියයට හැත්තෑපහක් අයිතිය ඇත්තේ චීනයටය. ජපානය, විටයට්නාමය හා ඉන්දුනීසියාව ඒ වෙළඳ පොල දිනා ගැනීමට තරග කරමින් සිටී. ශ‍්‍රී ලංකාව තවමත් සම්ප‍්‍රදායික ඇට තේ වගාවෙන් බහුල රාජ්‍ය වතු ඇතිව, උසස් නිෂ්පාදනයෙන් තොර කලූ තේ අපනයනය කරමින් තම වෙළඳ පොළ ප‍්‍රතිශතය අඩු කර ගනිමින් සිටිය දී කෙන්යාව, චීනය ඇතුලූ රටවල් ගෙන යන උපක‍්‍රමික වෙළඳ පොළ දිනා ගැනීමේ අවස්ථා ගැන අප උනන්දුවක් දැක්විය යුතුය.


1960 ගණන් වල තේ කිලෝවක් අපනයනය කිරීමේ දී ඩොලර් කිහිපයක් උපයා ගන්නට සමත් වූ ලෝකයේ හොඳම තේ වැඩිම ප‍්‍රමාණයක් නිපදවන්නා අද තේ කිලෝ වකට උපයා ගන්නට සමත් ඩොලර් ප5මාණය ද අඩු කරගෙන ඇතිවා පමණක් නොව වෙළඳ පොළ නව ප‍්‍රවණතා හා පර්යේෂණ ගැන අවධානය යොමු නොකිරීමනිසා එහි ඇති ශක්තිය දුර්වල කර ගනිමින් සිටී. දැන් පවතින තත්ත්වයෙන් තවත් දශකයක් පැවතුන ද තේ වෙළදාමෙන් මෙරටට අවාසියක් වන්නේ නැත. කඩා වැටීමක් හෝ අර්බුදයක් ඇතිවේ යැයි වරදවා වටහා ගත යුතු නැත. එහෙත් වෙනස්වන ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ ප‍්‍රවනතා හෙයින් රටට අහිමිවන ආදායම හා අවස්ථාව බරපතල එකකි.
මිණිසර   -

No comments:

Post a Comment