Do you like to read weekly my Econocolama

Sunday, September 12, 2010

2010.09.12- රාවය- වානිජ බැංකු අධික ලාභ මහජනතාවගේ අතට ආපසු යැවීම

ශ‍්‍රී ලංකාවේ වානිජ බැංකු විසින් උපයා ඇති ලාභය මේ දිනවල විවාද සම්පන්න මාතෘකාවක් වී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසර හැටක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බි. ජයසුන්දර මහතා ද මේ ගැන ස්වකීය මතය දක්වා ඇත. රාවය ඉකොනොකොළම මෙන්ම තවත් මාධ්‍ය ගණනාවක් මෑත පමණක් නොව ඈත කාලයේ පටන්ම මෙරට බැංකු පද්ධතියේ පැවති අධික පොලිය ගැන කතා කළේය. මහජනතාවගෙන් සුලූ පොලියකට ගන්නා ඉතුරුම් නැවත ව්‍යවසායකයන් හා මහජනතාවටම ණයට දෙන්නේ වැඩි පොලී ප‍්‍රතිශතයකටය.


පසුගිය කාලයේ ජාත්‍යන්තරයේ පැවති මූල්‍ය අර්බුදය හෙයින් බටහිර රටවල ප‍්‍රධාන පෙලේ බැංකු හා මූල්‍ය ආයතන බි`ද වැටුණ අතර විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වූ ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ආරක්ෂා වූ බව අදහසක් වශයෙන් පැතිර ගියේය. එනමුත් ජයසුන්දර මහතා ගේ එක් ප‍්‍රකාශයකින් එහි හැබෑ පසුබිම අනාවරණය වෙයි. මෙරට ව්‍යාපාරිකයන් හා මහජනතාව පසුගිය වසර තිහ තුළ සියයට තිහක පමණ පොලියක් ණය ගැනීමේ දී බැංකු වලට ගෙවා ඇති බව ඔහුගේ අදහසයි. ණය පොලිය එතරම් ඉහල මට්ටමක පවතින අතර තැන්පතු හිමියන් වෙනුවෙන් එයින් අඩක්වත් වානිජ බැංකු විසින් පොලී ගෙවා නැති බව පැහැදිලිය. ඒ පසුබිම ඉදිරියේ මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කර ඇත්තේ මහජනතාව විනා එකී බැංකු වල නිවැරදි කළමණාකාරීත්වය හෝ උපායශීලී බව නම් නොවේ.


ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විසින් බැංකු වලින් ණය ගන්නේ කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා ආරම්භ කිරීමටය. මෙම ආරම්භ කරන ව්‍යාපෘති ලාභ සහිතව පවත්වාගෙන යන්නට නම් බැංකු වලට සියයට තිහක අධික පොලියක් ගෙවන අතරතුර මහජනතාවගෙන් ලාභ ලෙස උපයන්නට ඇති ධනස්කන්ධය කොතරම්ද? සහල්, එලවලූ මාලූ ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවන විට, බස් ගාස්තු, රෝහල් ගාස්තු වැඩිවන විට මහජනතාව ආණ්ඩුවට ඇ`ගිල්ල දිගු කළේය. වක‍්‍රව පනවන බදු වලින් ආණ්ඩු ආදායම් උපයා ගන්නා අතර බැංකු පද්ධතියේ පැවති මෙවැනි අධික ලාභ ඉපැයීම් පාලනය කරන්නට උත්සාහ කළේ නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මහජනතාව හැමදාමත් ජීවන වියදම ගැන කනස්සලලෙන් කතාකිරීමය.


මේ වසරේ පළමු මාස හය ඇතුලත බදු ගෙවීමට පෙර මහජන බැංකුව රු. බිලියන 5.2 ක ලාභයක් උපයා ඇති අතර ලංකා බැංකුව එම කාල සීමාවේදී උපයා ඇති ලාභය රු. බිලියන 4.02 කි. කොමර්ෂල් බැංකුව රු. බිලියන 4.06 ක් හැටන් නැෂනල් බැංකුව රු. බිලියන 2.89 ක ලාභයක් උපයා ඇති අතර බදු ගෙවීමෙන් පසු ශූද්ධ ලාභය රු. බිලියන 1.79 කි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 4.5 කි. එම බැංකුවේ පොලී ආදායම පමණක් රු. බිලියන 2.8 ක් වී ඇති අතර එය පසු ගිය වසරේ සම කාල පරිච්ෙඡ්දයේ දී රු.බිලියන 2.1 ක්ව පැවතී ඇත. සම්පත් බැංකුව රු. බිලියන 1.88 ක් හා එන්. ඞී. බී. බැංකුව රු. බිලියන 1,5 මෙම කාලසීමාව ඇතුලත බදු ගෙවීමට පෙර ලාභ වශයෙන් උපයා ඇති බව දැනට නිකුත් කළ ඇති මූල්‍ය වාර්තා පෙන්වයි.


මෑත කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය මිලදී ගැනීමේ හා ප‍්‍රති විකිණීමේ පොලී අනුපාත අඩු කළේය. එසේ අඩු කිරීමෙන් අපේක්ෂා කළේ වානිජ බැංකු පොලී අනුපාත එයට සාපේක්ෂව අඩු වනු ඇති බවය. එහෙත් එය එසේ නොවීය. සාමාන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක් වන විට ණය පොලී අනුපාතය සියයට පහලොවක සිට විසි තුන දක්වා පරාසයක විහිදී තිබිණ. සාමාන්‍යයෙන් මූල්‍ය කේෂේත‍්‍රයේ පිළිගැනීම අනුව තැන්පතු පොලිය හා ණය පොලිය අතර අනුපාත පරතරය සියයට දශම පහක සිට සියයට හතර දක්වා පරාසයක පවතින බව ජාත්‍යන්තර තරගකාරී බැංකු පෙන්වයි. එනමුත් මෙරට එම ප‍්‍රතිශත පරතරය දෙගුණයක සිට තුන් ගුණයක් දක්වා පරාසයක විහිදීමෙන් මෙම පොලී ගැන අදහසක් ඇති කර ගත හැකිය.


බැංකු මහජනතාවට වැඩි පොලියක් ගෙවිය යුතුය. එසේ නැතිනම් අඩු පොලියට ව්‍යවසායකයන්ට හා මහජනතාවට ණය නිකුත් කළ යුතුය. මෑතක දී මහ බැංකුවේ ඉල්ලීම අනුව පොලී අඩු කළේ මහජන බැංකුව පමණකි. අනෙක් බැංකු සියල්ල දැන් ස්වකීය අධික ලාභ වලට කුමක් කළ යුතු ද යන ප‍්‍රශ්නයේ සිරවී සිටී. සාමාන්‍යයෙන් කොටස්කාර සමාගමක් ලාභය යළි ආයෝජනය කළ යුතුය. එසේ නැතිනම් එය කොටස් හිමියන්ට ගෙවිය යුතුය. මෙම අධික ලාභ කොටස් හිමියන් පවා අනපේක්ෂිත එකකි. වානිජ බැංකු ඉක්මනින්ම මෙම ලාභ යළි ආයෝජනය කරන්නට සුදුසු ව්‍යාපෘති හි`ගයෙන් පෙළේ. එයට එකම විස`දුම වශයෙන් දැන් බැංකු යෝජනා කර ඇත්තේ ස්වකීය ප‍්‍රාග්ධන අරමුදල ඉහල දැමීමයි.


ශ‍්‍රී ලංකා මහ බැංකුව කලකට පෙර මෙරට බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමේ අදහසින් යෙදවුම් ප‍්‍රාග්ධනය ඉහල නැංවූ අතර 2011 වසර අවසන් වන තුරු වානිජ බැංකුවක ප‍්‍රාග්ධනය රුපියල් බිලියන තුනක් හා විශේෂිත බැංකු වලට රුපියල් බිලියන දෙකක් වශයෙන් ප‍්‍රාග්ධනය සම්මත කර තිබුණි. දැන් අධික ලාභ උපයා ගත් බැංකු මෙම ලාභ තමන් සතුවම පවත්වා ගැනීමේ අදහසින් 2013 වන විට වානිජ බැංකු ප‍්‍රාග්ධනය රු. බිලියන 4 ක් හා 2015 වන විට රු. බිලියන 5 දක්වාත්, විශේෂිත බැංකු 2013 තෙක් රු. බිලියන 2.5 හා 2015 තෙක් රු. බිලියන 3 දක්වාත් වැඩි කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවසර ඉල්ලා තිබේ.


මෙවැනි ප‍්‍රාග්ධනය සාදාරණ නොවන මට්ටමකින් ඉහල නැංවීමෙන් ආර්ථීක ප‍්‍රසාරණයට ලැබෙනවාසියක් නැත. මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දෙදහස කිට්ටුවට ගැනීමට නිදහසින් පසු අවුරුදු පණහකට වැඩි කාලයක් ගත කර තිබේ. වත්මන් ආණ්ඩුවේ ඉලක්කය ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහසක සීමාවට ඉක්මනින් ගෙනයාමයි. ඒ වෙනුවෙන් විප්ලවීය තීන්දු ගැනීම අවශ්‍යය. පොලී අනුපාත සම්බන්ධයෙන් පවතින බාධක එවැන්නක් බව පැහැදිලිය. පසුගිය අවුරුදු තිහ තුළ සියයට තිහක පොලියක් ගෙවූ පුද්ගලයෙකුට ඉදිරි අවුරුදු කිහිපය තුළ තනි ඉලක්කමක පොලියකින් ව්‍යාපාර අරඹන්නට අවස්ථාව ඇත්නම් එහි වාසිය අත්පත් වන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකික මහජනතාවට බව අවධාරණය කළ යුතුය.


-මිණිසර

No comments:

Post a Comment