Do you like to read weekly my Econocolama

Thursday, September 16, 2010

රාවය 2010.09.19 - වර්ධනයවන ආර්ථිකය යළි ආයෝජනයට විනා පාරිභෝජනයට නොවේ.

ශ‍්‍රී ලංකාවේ උද්ධමනය හෙවත් වාර්ෂිකව භාණ්ඩ හා සේවාවන් හි මිළ වැඩි වීමේ වේගය දරා ගත නොහැකි තරම් ඉහල වකවානුවක් තිබිණි. එනමුත් මේ වසරේ ගෙවී ගිය හය මාසය තුළ එහි කැපී පෙනෙන අඩු වීමක් වාර්තා කරයි. 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 26.2 ක් වශයෙන් සටහන් විය. ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි වීම ඉන්ධන මිල ඉහල යාම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පාලනය කර ගත නොහැකි තරමට දේශීය ණය ගැනීම වැනි කාරණා එයට බලපෑවේය. එනමුත් 2010 ජූලි මාසයේ අද්ධමනය සියයට 4.5 ක් වූ අතර එය අගෝස්තු මාසයේ දී සියයට 5 දක්වා සු`ථ වැඩිවීමක් පෙන්නුම් කළේය.

මෙවැනි උද්ධමන අනුපාතිකයක් රට තුළ පවත්වාගෙන යාමට හැකි වීම සාමාන්‍ය මහජනතාවට විශාල සහනයකි. කලින් වසරේ පැවති භාණ්ඩ හා සේවා මිළ ගණන් වලට වඩා ගෙවී යන වසරේ එම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිළ වැඩි වීම සියයට පහකට අඩු නම් එහි වාසිය ලැබෙන්නේ ජනතාවටය.
රජය මේ වන විට විදේශ වත්කම් අතින් හො`ද ස්ථාවරයක සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාරික වශයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 406 ක ණය ආධාරය, විදේශීය රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය ප‍්‍රමාණය ඉහල යාම හා අපනයන යම් ප‍්‍රතිශතයකින් වැඩි වීම එයට බලපා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 114 ක සිට 111 තෙක් අඩු වීම මෙරටට ආනයනය කරන භාණ්ඩ මිල තවත් අඩු කර, උද්ධමනය පහත හෙලන්නට දායක වී තිබේ. විදේශ විනිමය වැය කරන අන්දමට ඛනිජ තෙල්, කිරි පිටි, සීනි ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෝක වෙළ`ද පොලේ මිළ ගණන් කැපී පෙනෙන වැඩි වීමක් නොවීම විනිමය පීඩනයක් ඇති නොකරන්නට ද, මෙරට භාණ්ඩ මිළ වැඩි නොවීමට ද බලපා ඇත.

මේ අතර රජය පොලී අනුපාත අඩු කරමින් දේශීය වශයෙන් උද්ධමනය වැඩි වන්නට හේතු විය හැකි කාරණා ගණනාවක් ද සියුම් ලෙස පාලනය කර තිබේ. බැංකු පොලිය අඩුවීම ඉදිරියේ රජය ගන්නා දේශීය ණය වෙනුවෙන් ගෙවන්නට සිදුවන අධික පොලිය සෑහෙන ප‍්‍රමාණයකින් පහත වැටී ඇත. මෙයින් අවුරුදු කිහිපයකට පෙර භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 26 ක් තෙක් වැඩි වී තිබුණි. එහි අදහස ආණ්ඩුව එවැනි ඉහල පොලියකට මහජනතාවගෙන් ණය ගත් බවය. පසුගිය දිනවල අවුරුදු දහයක් දක්වා බැ`දුම්කර වල පොලී අනුපාත සියයට හත අට අතර ගණනකට පහල ගියේය. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ද ඉල්ලා සිටි පොලිය බෙහෙවින් අඩුය. එහි වාසිය අත් කර ගත්තේ දැනට කල් පිරී ඇත් බිල්පත් නැවත වෙන්දේසි කිරීම මගින් කල්පිරුණ බිල්පත් වලට අලූත් මුදල් නෝට්ටු වලින් ගෙවීම් වලකා ගැනීමෙනි. කෙසේ නමුත් මහ බැංකුව මේ වසරේ ජුනි මාසයේ රුපියල් බිලියන 13 ක අලූත් මුදල් නෝට්ටු නිකුත් කර ඇති අතර එය බිලියන 54 දක්වා අගෝස්තු මාසය වන විට ඉහල ගොස් තිබේ. ආර්ථීකයේ ප‍්‍රසාරණය හා පොලී අනුපාත අඩු වීම නිසා මෙම මුදල් සංසරණයේ වැඩි වීම තියුනු බලපෑමක් කර නැත.

2010 වසරේ පළමු හය මාසය ඇතුලත රජය දේශීය වශයෙන් ණය ගැනීම අඩු කර තිබේ. 2009 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 392.5 ක දේශීය ණය ගැනීම් වාර්තා වූ නමුත් මේ වසරේ ජුනි අවසානයවන විට එය රුපියල් බිලියන 315.3 දක්වා සියයට 19.7 කින් අඩු කරගෙන ඇත. අවධානය යොමු කළ යුතු විශේෂත්වය වන්නේ මෙම දේශීය ණය ගැනීම් 2008 වසර සමග සස`දන විට එක හා සමාන බවය. රටේ ආර්ථිකයේ ප‍්‍රසාරණයනිසා විනා පාලනයේ නියම ප‍්‍රතිඵල ලබා ගන්නට නම් එය තව දුරටත් අඩු කර ගත යුතුය. විදේශීය ණය 2009 පළමු මාස හය ඇතුලත දී රුපියල් බිලියන 83.9 ක සිට 2010 එම කාලය තුළ රුපියල් බිලියන 123.5 දක්වා වැඩි වී ඇත. දේශීය ණය අඩු කර විදේශීය ණය ගැනීම් මගින් උද්ධමනය වැඩි කරන මෙරටට මුදල් සංසරණය සීමා කළ හැකි නමුත් මේ ගන්නා ණය ආපසු ගෙවන්නට සිදුවන්නේ ඩොලර් උපයා ගැනීමෙන් පමණකි.

ජාත්‍යන්තර ආර්ථිකයේ වාසි, අඩු බැංකු පොලී අනුපාත වැනි දේ ස්වභාවික ආර්ථික න්‍යායයන්ට යටත්විය යුතුය. කෘත‍්‍රීමව පාලනය කරන තාක් කල් රටට එහි අභ්‍යන්තරය නොදැනේ. අඩු අද්ධමනය හා වැඩි ප‍්‍රතිලාභ ගැන බහුලව කතා කරන අතර මහජනතාවගේ තැන්පතු වලට ලැබෙන අඩු ආදායම ගැන වැඩි සැලකිල්ලක් නොවේ. පාලනයෙන් මිදුන වහා මේ සියල්ල ආපසු හැරෙන්නට ඇති අවදානම ද අමතක කළ යුතු නැත.
දැනටමත් රජය විදේශී්‍ය ණය ගන්නේ මෙයට දශකයකට දෙකකට කලින් ශ‍්‍රී ලංකාවට ලැබුණ සහන පදනමින් නොවේ. වැඩිම ආධාර දෙන චීන රජය පවා ඒ ආධාර වෙනුවෙන් අයකරන්නේ ජාත්‍යන්තර වානිජ බැංකුවකට වැඩි පොලී අනුපාතයකි. මුල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතන ශ‍්‍රි ලංකාව ඒක පුද්ගල ආදායම අතින් ඉහල රටක ගනයේ තබා ඇත. 1990 දී ඇමරිකානු ඩොලර් 473 ක ඒක පුද්ගල ආදායම 2004 දී ඇමරිකානු ඩොලර් 1,062 තෙක් හා 2008 දී එය ඇ. ඩො 2,014 තෙක් නංවාගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. තවත් අවුරුදු පහක් ඇතුලත එය ඇමරිකානු ඩොලර් 4000 දක්වා වැඩි කර ගැනීම රජයේ ඉලක්කයයි. මෙවැනි ආදායම් ඇති රටකට තවත් රටක් හෝ සංවිධානයකින් සහනාධාර හෝ අඩු පොලී ණය අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා දේශීය හෝ විදේශීය වශයෙන් ගන්නා ණය මේ පවතින උද්ධමන අනුපාතිකය දිගටම පවත්වාගෙන යන්නට හැකි අන්දමේ පරිසරයක් නිර්මාණය කළ යුතුය. එවැනි පසුබිමක් සකස් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට පමණකි. හැකිතාක් ආදායම් වැඩි කර ගත යුතුය. විදේශ විනිමය ලැබෙන ආනයන නංවා ගත යුතු අතර ආනයන සීමා කර ගත හැකි වීම වැදගත්ය. එවිට ගන්නා විදේශ ණය ගෙවන්නට ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට උපයා ගත හැකි වනු නියතය. අද පවතින නැගී ගෙන එන ආර්ථීකය පාරිභෝජනයට නොව තව තවත් ආයෝජනයට ඉඩ දෙන එකක් බවට පත් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ දර්ශනය අනුව පමණකි. එය දේශපාලනයෙන් බැහැරව උපායශීලීව මෙහෙයවිය හැකිනම් රටට අනාගතයක් අපේක්ෂා කළ හැකිය.
-මිණිසර   -

No comments:

Post a Comment