Do you like to read weekly my Econocolama

Monday, August 30, 2010

29.08.2010- රාවය - පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.

පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.
-මිණිසර

ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු හා මූල්‍ය පද්ධතිය දෙස අවධානයෙන් සිටී. බැංකු අතර බැංකුව වශයෙන් කි‍්‍රයාකරන්නේ ද මහ බැංකුවයි. වානිජ බැංකු වල අතිරික්ත මුදල් නිතිපතා මහ බැංකුවේ තැන්පත් කළ හැකිය. ඒ වෙනුවෙන් යම් පොලියක් ගෙවයි. එපමණක් නොවේ යම් අවස්ථාවක කිසියම් වානිජ බැංකුවකට මුදල් අවශ්‍යතාවයක් ඇතිවන විට මහ බැංකුවෙන් තාවකාලිකව ණය පහසුවක් සපයා ගත හැකිය. බැංකුවලින් මුදල් මිලදී ගැනීම හා බැංකු විසින් සිය අවශ්‍යතා වලට මුදල් ප‍්‍රති මිලදී ගැනීම වෙනුවෙන් පොලී අනුපාතයක් තිබේ.


මෑතක දී යළිත් වතාවක් මහ බැංකුව විසින් සිය ප‍්‍රතිවිකුණුම් පොලී අනුපාතය පහත දමන්නට තීරණය කළේය. දැන් මහ බැංකුවේ ප‍්‍රති විකිණුමු පොලී අනුපාතය සියයට 7.25 කි. සියයට 0.50 කින් අඩු කරන ලද පොලී අනුපාත සම්බන්ධ සම්පූර්ණ වාසිය මහජනතාවට ලැබෙනු ඇති බව මහ බැංකුව ප‍්‍රකාශ කරයි. මෙවැනි අනුපාතය අඩු කරන්නට තීරණය කරන ලද්දේ මහ බැංකුව අවස්ථා කිහිපයක දී පොලී අනුපාත අඩු කළත් එහි සම්පූර්ණ වාසිය බැංකු සමග ගනුදෙනු කරන සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව පෙනී ගොස් ඇති හෙයිනි.
රටක් සංවර්ධනය වන විට පොලී අනුපාත පහල මට්ටමක තිබීම වැදගත්ය. එවිට ඉතිරි කිරීම් අඩු වී පාරිභෝජනය වැඩි වෙයි. අඩු පොලී මට්ටම් වලට බැංකු වලින් ණය ගන්නට හැකියාව ලැබෙන විට එම මුදල් ප‍්‍රාග්ධනය වශයෙන් පාවිච්චිකර අලූත් ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩකඩ සැලසෙයි. පාරිභෝජනය වැඩි විය යුතු නමුත් ඉතිරි කිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගන්නට අපොහොසත් වන්නේ නම් අලූත් ආයෝජන වෙනුවෙන් ප‍්‍රාග්ධනය සොයා ගැනීමේ අපහසුව ඇති වෙයි. රටක පොලී අනුපාත අඩු ප‍්‍රතිශතයක තිබිය යුතු සේම ඉහල ඉතුරුම් අනුපාතයක් ද සමබරව පවත්වාගෙන යා හැකිනම් එය රට තුළ පවතින යහපත් ආර්ථීක කළමණාකරණය ගැන වැදගත් දර්ශකයකි.


වානිජ බැංකු පවත්වා ගෙන යන්නේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේය. ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමට මෙන්ම ලබා ගන්නා මහජනතාවගේ ඉතිරි කිරීම් යළි වෙනත් පුද්ගලයන්ට ණය දීමෙන් හෝ වෙනත් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් බැංකු විසින් ආදායමක් උපයා ගනී. එම ආදායම තැන්පතුකරුවන්ගේ තැන්පත් පොලී හා බැංකුවල මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යෙදවේ. ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකු අතර තැන්පත් පොලිය හා ණය පොලිය අතර අනුපාතය පවතින්නේ ඉතා ඉහල පරතරයකය. වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් තරගකාරී වානිජ බැංකු පද්ධති පවතින රටක ඉතුරුම් හා ණය පොලී අනුපාත අතර වෙනස සියයට 0.5 ක අවමයක සිට සියයට 4 ක උපරිමය දක්වා වෙයි. නමුත් ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකුවක සියයට හයක හෝ හතක පොලියකට ඉතුරුම් ගිණුමක් අරඹන තැන්පතුකරුවෙකු එම බැංකුවෙන් ම ණයක් අයදුම් කළහොත් ඒ ණය මුදල වෙනුවෙන් ගෙවන්නට සිදුවන පොලිය සියයට 20-25 අතර එකකි. එපමණක් නොවේ, අයදුම් කරන ණය මුදල වෙනුවෙන් අවශ්‍ය ලියැකියැවිලි හා වෙනත් ගාස්තු සියල්ලම ද ණය අයදුම් කරන්නා විසින් බැංකුවට ගෙවිය යුතුය. ඒ අනුව දේපොලක් හෝ පුද්ගලික ඇප මත අවදානමක් ද රහිතව ණය පිලියෙල කිරීමේ ගාස්තු ද අයකරගෙන ණය නිකුත් කරන මෙරට වානිජ බැංකු මෙම වැඩි පොලී අනුපාත වලින් අති විශාල ලාභයක් ලබයි. පසුගිය අවුරුද්දේ පමණක් නොව මේ අවුරුද්දේ පළමු භාගයේ ද මෙරට සියලූම බැංකු ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනින්ය. අඩු පොලියට මහජනතාවගේ තැන්පතු ලබා ගෙන වැඩි පොලියට මහජනතාවටම නිකුත් කරන ව්‍යාපාරයකින් එවැනි ලාභ ඉපැයීමක් අපේක්ෂා කළ යුතුය. එපමණක් නොවේ මෑතක් වන තුරු කිසිදු අවදානමක් නැතිව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි සියයට පහලොව ඉක්මවන වාර්ෂික පොලියක් ලබන්නටත් වානිජ බැංකු හුරුවී සිටි බව ස`දහන් කළ යුතුව තිබේ.


රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ බැංකු පවා ඉහල පරතරයක් ඇති පොලි අනුපාත පවත්වාගෙන යමින් මහජනතාවට නව ව්‍යාපාර වෙනුවෙන් ණය නිකුත් කිරීම වෙනුවට භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරමින් ගෙන ගිය වැඩ පිලිවෙල නිසා රටට යහපතක් අත්වූයේ නැත. සිදුවූ එකම කාරණය භාණ්ඩාගාර බිල්පත් මත රජය ලබා ගන්නා ණය හෙයින් උද්ධමනය වැඩිවීම පමණකි. මේ අවුරුද්දේ අයවැය මගින් ද විදේශීය ව රුපියල් බිලියන 123.5 ක් ණය ගන්නා විට දේශීයව රුපියල් බිලියන 315.3 ක් ණය ගෙන අය වැය හිගය පියවන්නට සැලසුම් කර තිබේ. විදේශීයව ණය හා ආධාර ලැබීම් හා උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් දේශීය ණය ගැනීම සීමා කිරීමට රජය අවධානය යොමු කිරීම නිසා මේ වන විට භාණ්ඩාගාර බිල්පත් මත සාමාන්‍ය පොලි අනුපාතය සියයට අටකට ආසන්න මට්ටමක් දක්වා අඩු වී තිබේ. මෙය යහපත් තත්ත්වයකි. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ මෙම අඩු පොලී අනුපාත සමග මෙරට උද්ධමනය පහල යා යුතු අතර වානිජ බැංකු විසින් ගණුදෙණුකරුවන්ට නව ආයෝජන වෙනුවෙන් අරමුදල් නිකුත් කරන ප‍්‍රවණතාවය ඉහලයාම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි.


මහ බැංකු ප‍්‍රති විකිණුම් හා ප‍්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාත අඩුකරමින් අවස්ථා ගණනාවක දී රජය වානිජ බැංකු පොලී අනුපාත අඩු විය යුතු බවට ඉ`ගි කරන ලද්දේය. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා වරක් බැංකු වලට කෙලින්ම කියා සිටියේ නිවාස ණය වෙනුවෙන් අඩු පොලී අනුපාත පැවතිය යුතු බවය. එහෙත් බැංකු තවමත් නිවාස ණය වෙනුවෙන් පවා අයකරන්නේ සියයට 15-18 අතර වැඩි පොලියකි. ආදායමක් උපයන්නේ නැති මහජනතාව විසින් ස්වකීය ඉපැයීම් වලින් වාරික ගෙවිය යුතු මෙවැනි ණය වෙනුවෙන් වෙනත් රටවල විශේෂ සහන පවා ඇති නමුත් මෙරට රජයට අයත් නිවාස බැංකු පවා වානිජ බැංකු හා තරගකාරී ලෙස මහජනතාවගෙන් වැඩි පොලී අයකරමින් සිටී. එපමණක් නොවේ මහ බැංකුව පොලී අඩුවන ලෙස සිය විකිනුම් හා ප‍්‍රති විකුණුම් පොලී අඩු කරන නමුත් තැන්පතු හිමියන්ට ගෙවන පොලිය පමණක් අඩුවන පරිදි කි‍්‍රයා කිරීම නිසා විශ‍්‍රාමිකයන් විසින් තැන්පත් කර ඇති මුදල් වලට ලැබෙන ආදායම අඩුවීමෙන් සමාජ ප‍්‍රශ්නයක් ද ඇති වූ අතර රජය එයට විසදුමක් ලබා දුන්නේ ජ්‍යෙශ්ඨ පුරවැසියන්ට අතිරේක බෝනස් ක‍්‍රමයක් හදුන්වා දෙමින් වන අතර එය අසාර්ථක හා තවත් ප‍්‍රශ්න ඇති කළ අවස්ථාවක් වශයෙන් මෙරට මූල්‍ය අංශ පීඩාවට පත් කර තිබේ. මෙවර ද ණය පොලී අනුපාත අඩු විය යුතු බව මහ බැංකුව කෙලින්ම කියයි. එසේ නමුත් ස්වකීය ණයකරුවන්ගෙන් අඩු පොලියක් අයකරන්නට වානිජ බැංකු සූදානම් නැත. මෙරට වානිජ බැංකු වල ගිණුම් වාර්තා පරීක්ෂා කර බලන විට එහි ලාභ බිලියන ගණන් දක්වා වැඩි වීමෙන් පෙන්වන්නේ පහසුවෙන් ණය පොලිය අඩු කර මහජනතාවට බැංකු හරහා ණය ගෙන නව ව්‍යවසායකත්ව ජාලයක් ඇති කරන්නට හො`දටම ඉඩකඩ පවතින බවයි. එනමුත් වානිජ බැංකු මෙරට බැංකු පද්ධතියේ පවතින ඒකාධිකාරී හා විෂම චක‍්‍රය උපයෝගී කර ගනිමින් අධික ලාභ උපයමින් මහජනතාවගේ තැන්පතු මත වාසි අත්කර ගිනිමින් සිටිනව විනා සංවර්ධන යුගයක වානිජ බැංකු වලින් ඉටුවිය යුතු වගකීම ඉටු කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.


මහ බැංකුවට තව තවත් සිය පොලී අනුපාත අඩු කළ හැකිය. එවිට සිදුවන්නේ මහජනතාව ඉතිරි කිරීම් කෙරෙහි අධෛර්යවත් වීමය. දැනටත් එය සිදුවෙමින් පවතී. තැන්පතු හා ණය පොලී අතර යම් විනයක් ඇති කරන්නට තවදුරටත් අපොහොසත්වීම ආර්ථිකයේ සමබරතාවයට අහිතකරය.

No comments:

Post a Comment